වර්ෂ 1993දී ජපන් රජය විසින් ආරම්භ කරන ලද මෙම වීසා කාණ්ඩයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලින් සහභාගිවන්නන්ට ජපන් සංගතවලින් තාක්ෂණික දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ මව් රටවලට ලබා නොදිය හැකි හොඳ විශේෂ නිපුණතාමය හැකියාවන් ගොඩනංවා උපකාර කිරීම සඳහා එවැනි දැනුම සහ කුසලතා නැවත මව්රටට ගෙන යාම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

Training Visa බලපත්‍රය රැකියාගත වීසා (Working visa) බලපත්‍රය හා සමානව පෙනුනද එය ශ්‍රම හිඟය පිරවීම සඳහා නිර්මාණය නොවූවක් වන අතර Training visa යනු Working visa එකක් නොවෙයි. ඇතැම් කූඨ ඒජන්සි මගින් මෙය Work permit Visa එකක් ලෙස හුවා දක්වමින් බොහෝ අයව රැකියාගත වීසා තත්වයක් ලෙස පෙන්වමින් විශාල මුදලක්ද අය කරමින් වංචනික ක්‍රියා සිදු කරයි. එනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.


Training Visa සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

01. වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
  • මෙහිදී අවම සීමාවක් සඳහන් කලද උපරිම වයස් සීමාවක් ගැන සඳහන් කරන්නේ නැත. නමුත් ආයතනික සහ ඒජන්සි පසුබිමෙහි එකඟතා මත උපරිම වයස් සීමාව 30/35/40 වශයෙන් දක්වයි. 
  • වයස අවුරුදු 35ට මෙහා වීම ගොඩක්ම වීසා වැදීමේ සම්බාවිතාවයෙහි වැඩි කමක් බලාපොරොත්තු විය හැකි. නමුත් එයිට වැඩි අයටද වීසා වදිනු ඇත.

02. අපොස සාමාන්‍ය පෙළ (O/L) විභාගයෙන් සමත් විය යුතුය.

03. ඔබ තෝරගන්නා ක්ෂේත්‍රයට අදාළව වසරකට හෝ එයිට වැඩි කාලයක රැකියා පළපුරුද්දක් තිබිය යුතුය.

04. ඔබ ජපානයට යවනු ලබන ඒජන්සිය සමඟ පැය 224ක පුහුණුවක් සම්පූර්ණ කර තිබිය යුතුය.
  • මෙය විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදුවන්නකි.
05. මෙඩිකල් එක සමත් විය යුතුය.
  • BMI, වර්ණාන්ධතාවය, නිදන්ගත රෝග, සමාජ රෝග, ටැටූ යනාදිය පිළිබඳව විශේෂයෙන් සැළකිළිමත් වෙයි.


Training Visa බලපත්‍රයක් ක්‍රියා කරන්නේ කෙසේද?

  • Training visa බලපත්‍රය මඟින් ඔබගේ රැකියාව, තෘතීයික වෘත්තීය අධ්‍යයන ක්ෂේත්‍රය සහ වෘත්තීය ප්‍රවීණතා සංවර්ධන පුහුණුවක් සඳහා ඔබේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සේවා ස්ථානය පදනම් කරගත් වෘත්තීය පුහුණු ක්‍රියාකාරකම්වලට සහභාගී වීම සඳහා ඔබට ඉඩකඩ සලසා දෙයි.


Training Visa වලින් යන්න ජපන් භාෂා හැකියාව කෙසේ විය යුතුද?

  • මෙහිදී ජපන් භාෂා විභාග සුදුසුකමක් ඉල්ලා නොමැති වුවත්, යම් යම් සන්නිවේදන සහ වෙනත් ගැටලු හේතුවෙන් ආයතන සහ ඒජන්සි විසින් අවම වශයෙන් ජපන් භාෂාව N5 මට්ටම බලාපොරොත්තු වෙයි.
  • කොහොම නමුත් ජපානයෙ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට පවා ජපන් භාෂාව ඉතාම අත්‍යවශ්‍ය කරුණක් බව මතක් කරන්න කැමතියි. එනිසා තවදුරටත් ඉහළ මට්ටමකට ජපන් භාෂාව ඉගෙන ගෙන තිබීම වඩාත් සුදුසු යැයි යෝජනා කරමි.
  • මේ සඳහා ජපන් භාෂා හැකියාව පෙන්වීමට ඔබට JLPT හෝ Nat test වගේ exam එකක් කිරීම සුදුසු වෙනවා.
  • ඒ වගේම ජපන් භාෂාව ප්‍රායෝගිකව භාවිත කිරීමේ හැකියාව ඔබව පුහුණු රැකියා යෝජිත ආයතනය සමග පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමට ප්‍රධානවම වැදගත් වේ.
  • වැඩ පසුබිමේදී, වැඩිහිටි වගේම වැඩිදුරට ඉගෙන නොගත් නූගත් ජපන් ජාතිකයන් සමග ගනුදෙනු කිරීමේදී ගැටලු ඇතිවෙන්න පුලුවන්. එයට ප්‍රධානම හේතුව වන්නේ සන්නිවේදන හැකියාව තමන්ගෙ පැත්තෙන් දුර්වල වීමයි. එනිසා ගොඩක් ගැටලු මගහරවාගෙන ඉතාමත් සාධනීය පරිසරයක් තුළ රැකියා පුහුණුව ලබා ගැනීම සඳහා භාෂා හැකියාව ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි.
  • සංස්කෘතික කාරණා, රටට ආවේණික ක්‍රියාකාරකම් සමග වැඩ කිරීමේදී, මානව සම්බන්ධතා පවත්වා ගැනීමේදී, මානසික පීඩනය ආදිය මගහරවා ගනිමින් ගැටලු වලක්වා ගනිමින් අපහසුතාවයකින් තොරව භාෂාව භාවිත කිරීමට හැකියාව තිබේනම් ඔබට වැඩ බිම් වපසරිය තුළ ඉතා සතුටින් කටයුතු කිරීමට හැකියාව ලැබෙයි.


Training වීසා වලට අදාළ Jobs Category මොනවාද?

ට්‍රේනින් වීසා සඳහා රැකියා අංශ 146ක් පමණ ඇති අතර විවිධ රටවල් සඳහා අදාළ රැකියා අංශ කිහිපයක් බැගින් ලබා දී ඇත. 
  • කෘෂිකාර්මික අංශය.
  • ඉදිකිරීම් අංශය.
  • සාත්තු සේවා.
  • ආහාර අංශය.
  • යන්ත්‍රෝපකරණ අංශය.
  • රෙදිපිළි අංශය.
  • ධීවර අංශය.
  • වෙනත් අංශ...

Training visa යන්න පුලුවන් කොහෙන්ද? සහ වියදම කොපමණද?

  • ට්‍රේනින් වීසා වලින් ජපානය සඳහා රජය හරහා වාර්ෂිකව යම් සංඛ්‍යාවක් යවනු ලබනවා.
  • එයිට අමතරව අවසර ලත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි පෞද්ගලික ඒජන්සි හරහාද යවනු ලබනවා.

සදුසුකම්ලත් ඒජන්සි බැලීම සඳහා: Click this...

  • වියදම ගත් විට දළ වශයෙන් ලක්ෂ 6-8 අතර ගණනක් වේ. (කාලීන වශයෙන් වියදම වෙනම් විය හැක)
(නමුත් ඇතැම් ආයතන අදාළ නොවන ආකාරයේ ඉහළ වියදම් ඉදිරිපත් කරයි නම් ඒ ගැන විශේෂයෙන් සැලකිළිමත් වන්න.)


Training visa සඳහා ලැබෙන වැටුප කොපමණද?

  • සාමාන්‍යයෙන් වැටුප යෙන් 160000 - 180000 අතර වේ. අතිකාල දීමනා සහ වෙනත් දීමනා ලැබීම හෝ නොලැබීම සමාගමින් සමාගමට වෙනස් වන බැවින් එය සමාගම මත තීරණය වේ. 
  • Insurance, pension, city tax, income tax ආදිය සදහා වැටුපෙන් ¥30,000 - 35,000ත් අතර මුදලක් දළ වශයෙන් අඩුවිය හැකියි.
  • සාමාන්‍යයෙන් ට්‍රේනින් වීසා වලින් රැඳී සිටින අය සඳහා ජපන් ජාතිකයෙකු සාමාන්‍යයෙන් ලබන වැටුපෙන් අඩක් වගේ ප්‍රමාණයක් තමයි ගෙවන්නෙ. (Training Visa යනු Working Visa එකක් නොවෙයි.)


Accommodation ලබා දෙනවාද?

  • නවාතැන් පහසුකම් පිළිබඳව කතා කළහොත් ඇත්තෙන්ම එය ආයතනය මත තීරණය වන්නකි. 
  • ඇතැම් ආයතන මගින් සම්පූර්ණයෙන් නොමිලේ නවාතැන් පහසුකම් ඔබ වෙත ලබා දෙයි.
  • තවත් සමහර ආයතන නවාතැන් පහසුකම් සඳහා ඔබෙන් සුළු මුදලක් (half charge) අය කරගන්නා අතර ඇතැම් ආයතන නවාතැන් පහසුකම් සපයන්නේද නැත.
  • ආහාරපාන සහ අනෙකුත් වියදම් (ටැක්ස් සහ බිල් වර්ග) ඔබ විසින් පියවා ගත යුතුය. ඇතැම් ආයතන ඔබට ගමන් පහසුකම් සඳහා වාහනද ලබා දිය හැකියි. (කලාතුරකින්)


වීසා කාලය කොපමණද?

  • මූලික වශයෙන්ම රැකියා නිපුණතාවය ලබා ගැනීම සඳහා training visa කාලය වසර 3ක් සඳහා වේ.
  • අවශ්‍ය වූ විට පමණක් TITP (iii) ඔස්සේ ලබා ගත් රැකියා නිපුණතාවය සඳහා රැකියා පුහුණුව ලබා ගැනීම සඳහා තව දුරටත් අවුරුදු 2ක් සඳහා වීසා දීර්ඝ කර ගත හැකියි.


Training Visa ඉද්දි Dependent Visa ලබා ගත හැකිද?

  • TITP Visa කාන්ඩය යටතේ ඔබගේ සැමියා/බිරිද dependent visa යටතේ ගෙන්වා ගැනීමට අවසර හිමි වන්නේ නැත.

Part time Job කිරීමේ හැකියාව තිබේද?

  • ට්‍රේනින් වීසා හරහා ඉද්දි කිසිසේත්ම ඔබට part time job කිරීම සඳහා හැකියාවක් ලැබෙන්නේ නැත. එසේ සිදු කිරීම නීත්‍යානුකූලව වරදකි.
  • ඇතැම් විට එසේ part time job කරලා හසු උවහොත් යෙන් ලක්ෂ 20-30 ක පමණ දඩයක් ගෙවීමට පවා සිදු විය හැක.
  • ඒ වගේම රැකියා පුහුණුව ලබා දෙන ආයතනයට සහ ලංකාවෙන් එවන ලද ඒජන්සියටද යම් කිසි බලපෑමක් ඇති විය හැකියි. 
  • එනිසාම මේ සඳහා වන කරුණු සමඟ ඔබ එකඟත්වය පල කරමින් රැකියා යෝජිත පුහුණු ආයතනය සහ ඒජන්සිය සමග ගිවිසුම් ගත වීමටද සිදු වෙනවා.


Training Visa එකේ ඉදලා වෙනත් Visa එකකට මාරුවෙන්න පුළුවන්ද?

  • පෙර අවස්ථාවන් වලදී ට්‍රේනින් අවුරුදු 3 සම්පූර්ණ වීමෙන් පසුව තවත් අවුරු 2 සඳහා TITP (iii) අදියර සඳහා ප්‍රවේශ වී ජපානයේ රැඳී සිටීමට හැකි වීම හෝ අවුරුදු 3 සහ අවුරුදු 5 සමුපූර්ණ වීමෙන් පසුව තමන්ගේ මව් රටට යාම අත්‍යවශ්‍ය විය. එසේ ගිය පසු තමන්ගෙ රටේ අවුරුද්දක් හෝ එයිට වැඩි කාලයක් රැඳී සිටීමෙන් පසුව නැවත වෙනත් වීසා කාණ්ඩයක් සඳහා ඉල්ලුම් කර ජපානයට පැමිණීමේ හැකියාව තිබුණි.
  • කෙසේ නමුත් මේ වන විට Training visa වලින් ඉන්න අයට ජපානය තුළදීම SSW Visa එකේ SSW1 type එකට මාරුවෙන්න අවස්තාව සැකසිලා තිබෙනවා.
  • ඇතැම් විට ඔබ සේවය කරන ආයතනය තුළම SSW Visa වලට මාරු වී දීර්ඝ කාලීනව රැදී සිටීමේ හැකියාව ලැබිය හැකි. ඒ පිළිබඳව ආයතනය සමග කතා කර ගත යුතුයි.


SSW සඳහා මාරුවෙන්නෙ කොහොමද?

  • Training Visa අවුරුදු 3 සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබ ට්‍රේනින් ලබා ගත් අංශයට අදාළවම SSW1 සඳහා ඉල්ලුම් කළ හැකියි.
  • eg-: ඔබ Training Visa හිටියෙ Caregiver නම් ඔබට SSW සඳහා ඉල්ලුම් කළ හැක්කේද Caregiver සඳහා වේ.
  • SSW වලට මාරුවෙද්දි රැකියා අංශය මාරු කරන්න (eg-: Caregiver ඉදලා Food Service වලට) පුලුවන්ද කියන එක ගොඩක් අයට තියෙන ගැටලුවක්. එහෙම කරන්න ගොඩක් අමාරුයි, ඒ සඳහා මාරු කරන්න බලාපොරොත්තුවෙන අංශයට අදාළ Skill test එක පවා කරලා තිබිය යුතුයි.
  • මෙහිදී SSW සඳහා වන N4 සහ Skill test සුදුසුකම් සඳහා වන විභාග වලින් TITP (ii) සම්පූර්ණ කරපු අයව නිදහස් කරලා තිබෙනවා. (එයට හේතුව ජපානයේ කාලයක් රැඳී සිටීම තුළින් ලබා ගත් භාෂණ හැකියාව තුළින් එදිනෙදා සන්නිවේදන කටයුතු කර ගැනීමට හැකිය යන උපකල්පනය මත සහ රැකියා පුහුණුව තුළින් ලබා ගත් නිපුණතාමය හැකියාව තුළින් තවදුරටත් රැකියාගතව වැඩ කරගෙන යාමට ප්‍රමාණවත්ව යන උපකල්පනය මතයි.)

  • නමුත් ඔබ යම් කාලයක් ජපානයේ රැඳී සිටීමෙන් ලබා ගත් භාෂා දැනුම සහ නිපුණතාව ඔස්සේ ලබා ගත් රැකියා ගත දැනුමත් ඉවහල් කරගනිමින් SSW සඳහා අදාළ සුදුසුකම් විභාග (Language test + Skill test) වලට පෙනී සිටීමට පහසුවක් වෙයි. එනිසා එම කාරනය ඉටු කර ගැනීම තව දුරටත් ඔබට ඉතා හොඳ වාසියක් වේ යැයි මතක් කළ යුතුය.


Training Visa එක SSW Visa එකකට මාරු කරගැනීමේදී සැළකිළිමත් විය යුතු කරුණු:

01. ප්‍රධාන වශයෙන්ම ඔබ ට්‍රේනින් වීසා සඳහා සකස් කරනු ලබන ලිය කියවිලි වල පිටපත් ලඟ තබා ගැනීම ඉතාමත් වටී.
  • ගොඩක්දුරට Training visa ඉද්දි SSW සඳහා ඉල්ලුම් කරන විට අදාළ ලියකියවිලි සම්පූර්ණ කිරීමේදී training visa වලට සකස් කරන ලද ලියකියවිලි සහ SSW Visa සඳහා සකස් කරන ලියකියවිලි සමාන විය යුතුයි. (අන්තර්ගතයන් සමාන විය යුතුයි) එසේ නොවන පරස්පර සහිත අවස්ථාවන් නිසා වීසා ප්‍රතික්ෂේප වීමට ගොඩක්ම ඉඩකඩ ඇත.
  • ඇතැම් අවස්ථා වලදී ඒජන්සියේ පහසුවට ඔබට නොදන්වා පූරණය කර ඉදිරිපත් කරන ලියකියවිලිද තිබිය හැකි බැවින් ඒ පිළිබඳවත් සැළකිළිමත් වන්න.
02. Training Visa වලින් ඉද්දි මාස 3කට වඩා එකවර නිවාඩු ලබාගෙන තිබේ නම්, එවැනි අවස්ථාවකදී ඔබ SSW Visa සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් නොලබන පුද්ගලයෙක් වශයෙන් සැලකේ.

03. අදාළ බදුගෙවීම් නිසි ආකාරව පියවා නොමැති නම්, වීසා ඉල්ලුම් කිරීම ප්‍රතික්ෂේප විය හැකියි.

04. Training Visa අවසන් වීමට අවම මාස 2 - 3 පෙර සිට SSW Visa ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම ආරම්භ කළ යුතුය.

05. training visa අවසන් වීමට අවම මාස 3කට පෙර සිටවත් SSW Visa එකට අදාළව රැකියාවක් කිරීම සඳහා ආයතනයක්/රැකියාවක් සොයා ගත යුතුය. [සුදුසුකම් පිළිබඳ සහතිකය (COE) එක ලබා ගැනීම සඳහා]
  • Training visa කාලය අවසන් වන විට SSW සඳහා රැකියාවක්‍ නොතිබුන විට නැවත පෙර ආයතයේ රැකියාව සිදු කිරීමට හැකියාවක් නොමැති බැවින් එයිට පෙර සිටම රැකියාවක් සොයාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.
06. training Visa වලින් අවුරුදු 2යි මාස 10ක් ගෙවී ගිය තැන ඔබ ssw වලට අදාළ විභාග සඳහා (Skill test and other) පෙනී සිටීමට සුදුසුකම් ලබන හෙයින් ඒ සඳහා පෙර සිටම සූදානම් වීම අවශ්‍ය වේ.


Training Visa වල තිබෙන වාසි මොනවාද?

01. අනෙකුත් වීසා වලට සාපේක්ෂව ඉතාමත් අඩු වියදමකින් ජපානය සඳහා පහසුවෙන් යාමට අවස්ථාව උදා වෙයි.

02. Training කාලය තුළදී පුහුණුව පිළිබඳව ලබා ගන්නා Certificate එක වටිනාකමින් ඉහළ වීම.
  • මේ කාලය තුළ දී ලබා ගන්නා Certificate එක ජපානය තුළදී මෙන්ම ඔබ වෙනත් රටක රැකියාවක් සඳහා යන්නේ නම් මෙය ඉතාමත් ඉහළ පිළිගැනීමකට ලක් වෙයි.

03. Training Visa වල ඉදලා රැකියාගත (Working Visa) එකකට මාරු වීමේ අවස්ථාව උදා වීමෙන් දිගටම ජපානයෙ රැදී සිටීමට හැකි වීම. - SSW

04. අත්‍යවශ්‍යම කාරණයක් තුළදී පමණක් අදාළ ක්ෂේත්‍රය මාරු කළ නොහැකි වුවත් අදාළ ක්‍ෂේත්‍රය තුළ පවතින ආයතනය වෙනස් කළ හැකියි. (ආයතනයෙන් වෙනත් ආයතනයකට මාරු වෙන්න පුලුවන්.)

05. Training visa එකෙන් SSW වලට මාරු වීමෙන් ජපානයේ ස්තිරපදිංචිය/PR දක්වා යාවට අවස්ථාව උදා වීම.

06. Training visa එකෙන් ජපානයට පැමිණ අදාල කාලය අවසන් කර ලංකාවට පිටත්ව ගිය පසු නැවත වෙනත් රටකට යාමට යාමේදී, ජපානයට වීසා වැදී තිබීම වඩාත් වැදගත් පසුබිමක් වීම සහ ආපහු ජපානයට පැමිණීමට බලාපොරොත්තු වේ නම් ඉක්මනින් වීසා වැදීමේ සම්භාවිතාවය වැඩිය.

07. ඇතැම් ආයතන Air ticket වලට පවා Sponsor කිරීමේ අවස්ථාවන් තිබීම.
  • ඇතැම් විට මේ පිළිබඳව ඔබේ ඒජන්සිය ඔබෙන් සඟවා ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීම සිදු කළ හැකි. එවැනි කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න.
08. ලංකාවේ සිට SSW වලට අදාළ වෙනත් කැටගරි සඳහා ඉල්ලුම් කළ නොහැකි වුවද ට්‍රේනින් වීසා හරහා ගොස් ඒ අදාළ කැටගරි වලින් SSW වලට මාරු වීමට හැකි වීම.

09. ජපන් භාෂාව ගොඩක්දුරට ප්‍රායෝගික තත්ත්වයකින් ඉගෙන ගැනීමට හැකි වීම.


Training Visa වලින් ඇවිත් සාර්ථක වෙන්න පුලුවන්ද?

  • ඇත්තෙන්ම ඔව්. එහෙම සාර්තක වුන අය බොහෝ ප්‍රමාණයක් මේ වන විට ජපානයේ ඉන්නවා. ලාංකිකයන් මෙන්ම විදේශිකයිනුත්.
  • ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් ගානක් ඉතිරි කරගන්න පුලුවන්ද කියන එක. ඇත්තෙන්ම ඒ දේ තීරණය කරන්න ඕනෙ ඔබ. ගොඩක් අමතර වියදම්‍ සහ, පිටතින් කෑම බීම සහ අනෙකුත් අවශ්‍යතා සඳහා අනවශ්‍ය ලෙස වියදම් කරනවා නම් ඇත්තෙන්ම ගානක් ඉතිරි කරගන්න අපහසුයි. නමුත් එහෙම කරලත් අවම 10000-20000ක් හරි ඉතිරි කරගන්න පුලුවන්. Self-discipline තිබෙන ඕනෑම පුද්ගලයෙක්ට පහසුවෙන් මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙනවා.  
  • කරන්න තියෙන වැඩ අපහසුයිද කියන දේ ගැන කිව්වොත් එහෙම කියන්න බෑ. නමුත් ඔබ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටිය යුතුයි. ඝෘතු වෙනස්කම් වල ලක්වන රටක් විදිහට ඒ ඒ කාල වලදි අදාල ක්ෂේත්‍රයන් තුළද විවිධ අද්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. නමුත් ඇත්තෙන්ම ඒවා සාපේක්ෂයි, එවැනි කාරණා නිසා අධෛර්යට පත් වීම කිසිසේත්ම සුදුසු නැත. ඇතැම් විට කන්ඩායමක් ලෙස එවැනි අද්දැකීම් සුන්දර ලෙස අද්දැකීමේ අවස්ථාද තිබෙනවා.
  • මානව සම්බන්ධතා හරි විදිහට පවත්වගැනීම පිළිබඳව මතක් කළොත්, අතිශයින්ම වැදගත් වන්නේ ජපන් භාෂා දැනුමයි. මොකද ඇතිවෙන ගොඩක් ගැටලු වලට මූලිකම හේතුව භාෂාව නොදැන සිටීම සහ දුර්වල සන්නිවේදන හැකියාවයි. එනිසා ජපන් භාෂාව තරමක් හොඳ තත්වයට ප්‍රගුණ කර සිටීම ඔබේ සාර්ථකත්වය පහසු කරයි.
  • Work cultural එක ගැන යම්තාක් දුරට හඳුනාගෙන සිටීම ඔබේ වැඩ කටයුතු වලට පහසුවක් වේවි. ඒ වගේම ජපානයේ දිගටම රැඳී සිටීමේ අභිප්‍රායේදී ඔබට හොඳ අද්දැකීමක්ද වෙයි.


Training Visa එක නතර කරන කතාව ඇත්තද?
  • තවමත් එය නිශ්චිතව කිව නොහැකි කටකතාවක් පමණයි. ඒ පිළිබඳව ජපන් රජයේ අවධානයක් සහ සාකච්ඡා මට්ටමින් පවතින දෙයක් බැවින් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරන තුරු ඉන්න වෙනවා හරියටම කරන්න යන්නේ මොකක්ද? කියන දේ දැනගන්න. ඒ පිළිබඳවත් අවධානයෙන් බලාගෙන ඉමු.





Arigatō (ありがとう)
DAISU 日本 .... ✍


අපගේ DAISU 日本 Face Book Group එකට Join වීම සඳහා, Click this...