ජපන් රියදුරු බලපත්‍රය ලබාගන්න ආකාරය | Japan Driving License | KIRIKAE - JAPAN

 ජපන් රියදුරු බලපත්‍රය ලබාගන්න ආකාරය

(Nihon Menkyosho - 日本 免許証 - Japan Driving License)




ජපානයෙදි අපට driving license ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. 


01. ක්‍රමය,

      ජපන් ජාතිකයන් හා සමානවම ජපන් රියදුරු පුහුණු පාසලකට සම්බන්ධ වී අදාළ පාඨමාලාවන් හදාරලා driving license එක ගන්න පුලුවන්.

      මේ ගැන දැනට කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ, මොකද මේ ක්‍රමයෙදි යන වියදම සහ කාලය සැලකිය යුතු මට්ටමින් වැඩි නිසා. යෙන් ලක්ෂ 3ක වගේ මුදලක් වැය වෙනවා.


02. ක්‍රමය,

     අපි ලංකාවෙදි ලබාගත්ත driving license එක භාවිතා කරලා Japan driving license එක ලබාගන්න පුලුවන්.

මෙතනින් එහාට දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ 02 වන ක්‍රමයට කොහොමද අපි Japan driving license එක ලබාගන්නෙ කියන කාරණය පිළිබඳව. මොකද ලංකාවෙ ඉදන් ජපානයට ඇවිල්ලා ඉන්න පිරිසගෙන් 95% ක පමණ ප්‍රමාණයක්ම driving license එක ලබා ගන්න භාවිතා කරන්නෙ මේ ක්‍රමවේදය නිසා. 



 Japan driving license ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන දේවල් ,


01. ලංකාවේදි ලබාගත්ත රියදුරු බලපත්‍රය. (Driving license)

  • ජපානයට එන්නට මාස 03කට පෙර ලබාගෙන තිබිය යුතුයි. (එයිට අඩුනම් මේ ක්‍රමයට අයදුම් කළ නොහැකියි. රථවාහන දාවනය පිළිබඳව අද්දැකීම් අවම වීම මෙයට හේතුව වෙනවා.)  
          මෙයට විසදුමක් වශයෙන්, ලංකාවෙ driving license එක අරගෙන මාස දෙකකින් ඔබ ජපානයට පැමිණ සිටී නම් එම අවස්ථාවේදි නැවත වතාවක් ලංකාවට ගොස් ඉතිරි මාසයක කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබට මෙම ක්‍රමයෙන් Japan driving license සඳහා ඉල්ලුම් කරන්න පුලුවන්.

  • ඔබේ රියදුරු බලපත්‍රය JAF (Japanese automobile federation) ආයතනයට රැගෙන ගොස් ජපන් භාෂාවට පරිවර්තනය කරගන්න. (දළ වශයෙන් 3500 ¥ පමණ ගාස්තුවක් වියදම් වේ.) මෙය තැපෑල හරහාම ඔබේ නිවසට ලැබෙන්නට සලස්වනවා.
  • ලංකාවෙදි ලබාගත් driving license එකෙහි සහ passport එකේ සහ සයුරු කාඩ් (resident card) යන සියල්ලේම එකම නම තිබිය යුතුයි. අකුරක හෝ වෙනසක් වේ නම් ඉල්ලුම් කරන්න බෑ.

          මෙයට විසඳුමක් වශයෙන්, සයුරු කාඩ් එකේ හෝ driving license එකේ හෝ නමේ වෙනසක් පවතී නම්; මේ දෙකම එකම පුද්ගලයෙක්ට අයිතියි කියලා දිවුරුම් පෙත්සමක් (affidavit) එකක් ලබා ගන්න තෝකියෝ වල පිහිටා තිබෙන ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයෙන්. 

  • Driving license එකේ යම්කිසි දෝෂයක් නිසා හෝ අලුතෙන් එකක් ලබාගැනීමට අවශ්‍ය උවහොත් ජපානය තුළ ඉන්න පුද්ගලයෙක්ට, තෝකියෝ වල පිහිටි ලංකාවෙ ජපන් තානාපති කාර්යාලයට ගොස් license එක මාරු කරගන්න. එතනදි අනිවාර්යෙන් ඇඟිලි සලකුණු ලබා දිය යුතුයි. පසුව ඔව්න් එය ලංකාවට යවා මාස 2ක් ඇතුළත සිදු කළ යුතු වෙනස්කම් කරලා අලුත් driving license එකක් ඔබේ නිවසටම එවනවා. මේ සඳහා 15000 ¥ ක පමණ මුදලක් ඔබට වැය වෙනවා.


02. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය. (International driving license) 

  • Japan driving license එකට අයදුම් කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මෙය ලංකාවෙන් ජපානයට එන්නට කලින් අරගෙන ආ යුතුයි. 

- පහත ලිපිනයට ගොස් දවසකින් මෙය ලබාගන්න පුලුවන්;
The automobile association of ceylon 
No: 40, Mohomad Macan Markar Mawatha, Colombo 03
Hot line - 0112 421 528

- එසේ නොමැති කෙනෙක් වේ නම් ඔබ ලඟ තිබෙන driving license එක ලංකාවට යවා ඔබට international driving license එක ගෙන්වා ගැනීමට පුළුවන් වෙනවා.



03. විදේශ ගමන් බලපත්‍රය. (Passport)

  • ලංකාවේදි ලබාගත් රියදුරු බලපත්‍රයෙහි නිකුත් කළ දිනය සහ ඔබ ජපානයට පැමිනි දිනය කවදාද යන්න සසඳා තහවුරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වෙන්නෙ.


04. පදිංචිය පිළිබඳ සහතිකය. (Certificate of residence)

  • මෙය City Office එකෙන් ඔබට පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ( ¥ 300ක් පමණ වියදම් වේ.)


05. Driver information extract document එක.

  • මෙය ලංකාවේ Motor Traffic Department එකෙන් ලබා ගන්න පුලුවන්.
  • ජපානයෙ ඉන්න කෙනෙක්ට නම් ලංකාවෙ තමන්ගෙ පවුලෙ කෙනෙක් හරහා මේ කටයුත්ත කර ගත හැකියි.
  • මෙය ලබා ගැනීමෙන් පසුව Foreign Ministry එකෙන් සහතික කර ගත යුතුයි.


06. අයදුම්කරුගේ ඡායාරූපයක්.

  • මෙම ඡායාරූපය උස 3cm ක්ද පළල 2.4cm අතර ප්‍රමාණයෙන් විය යුතුයි. ඒ වගේම ඡායාරූපය ලබාගෙන මාස 06කට වඩා පැරණි නොවිය යුතුය. මෙය ඔබට පහසුවෙන් ස්වයංක්‍රිය ජායාරූප ගැනීමේ ස්ථානයකින් ඕනෑම වෙලාවක පහසුවෙන් ලබා ගත හැකියි. ( ¥ 1000 ක් පමණ වියදම් වේ.)


07. ඔබේ සීල් එක. (hanko)


08. විභාග ගාස්තු.

  • විභාග ගාස්තුව කොටස් තුනක එකතුවකින් සකස්වෙලා තියෙනවා.

i). සාමාන්‍ය/සැහැල්ලු - 2200 ¥ | ස්කූටර් - 1500 ¥ | බරවාහන - 4400 ¥ | වෙනත් - 2950 ¥

+

ii). වහන භාවිතා කිරීම සඳහා වන ගාස්තුව. (Trail පෙන්වීමට) 1550 ¥

+

iii). රියදුරු කුසලතා පරීක්ෂණය සමත්වීමෙන් පසුව බලපත්‍රය නිකුත් කිරීමේ ගාස්තුව 2050 ¥





Japan driving license එක ලබාගන්න පිළිවෙල පියවර 04කින් බලමු.



01. වන පියවර,

  • ඉහතින් සඳහන් කළ සියලුම දේවල් සූදානම් කර ගැනීමෙන් පසුව ඔබේ ප්‍රදේශයෙහි පිහිටා තිබෙන Prefectural Police Driver's License Division ආයතනය හා සම්බන්ධ වී Appointment (දිනයක් වේලාවක් වෙන් කරවාගෙන) එකක් දාන්න.
  • ඔබට ජපන් භාෂා හැකියාව අඩු නම් ජපන් භාෂාව දන්න වෙනත් පුද්ගලයෙක් එක්ක යාම ඔබේ වැඩකටයුතු අපහසුවකින් තොරව සිදු කර ගැනීමට පිටුවහලක් වෙයි.
  • ඉහත සඳහන් කළ සියල්ල රැගෙන ගොස් ඔබ Japan driving license එක සඳහා අයදුම් කරන්න. 
  • ඉන් පසුව ඔබ ලබාදුන් තොරතුරු වල සත්‍යතාවය බැලා පරීක්ෂා කිරීමට ඔව්න් කාලය ලබාගෙන ඔබට වෙනත් දිනයක් සහ වේලාවක් ලබාදෙනවා පැමිණෙන ලෙස.



02. වන පියවර,

  • මීලග දිනයේදී අයදුම් පත්‍රය සහතික කිරීමෙන් පසුව ඔබට ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී හිඳීමට සිදු වෙනවා.
  • මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනු ලබන්නෙ ඔබේ සවන්දීම, ඇස් වලින් කොතරම් දුරක් ග්‍රහණය කර ගත හැකිද යන්න සහ වර්ණාන්දතාවය තිබේද යන්න තහවුරු කර ගැනීමයි. ට්‍රැෆික් ලයිට්, මාර්ග ස‍ඤ්ඤා හඳුනා ගැනීමට ඔබේ වර්ණ හදුනා ගැනීමේ හැකියාව මෙතනදි සැලකිල්ලට ගැනේ. විශේෂයෙන්ම කියන්න ඕනෙ මෙතනදි කණ්ණාඩි දාන පුද්ගලයන්ට ගැටලුවක් ඇති වන්නේ නැත.
  • ඔබ මෙම පරීක්ෂණයෙන් සමත් වුවහොත් එවෙලෙහිම ඔබව සමත් කරනු ලැබේ.


03. වන පියවර,

  • ශරීර යෝගියතා පරීක්ෂණයෙන් සමත් වීමෙන් පසුව ඔබව රථවාහන නීති පිළිබඳව වන දැනුම බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වයි.
  • මෙය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සුළු වෙනස්කම් සිදුවිය හැකියි. 
  • බහුවරන ප්‍රශ්ණ 10ක් මෙහිදී ඔබට ලැබෙයි. මෙම පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ජපන් භාෂාවෙන් ඉල්ලුම් කරන්න පුලුවන්. 
  • කොහොම නමුත් පරීක්ෂණයෙන් සමත් වෙන්න බහුවරන ප්‍රශ්ණ 10න් 7/8ක් නිවැරදි විය යුතුයි. පිළිතුරු සපයන්න ලැබෙන කාලය මිනිත්තු 15යි.
  • මෙය සමත් වුවහොත් එදිනම trail පෙන්වන්න අවස්ථාව හදාගන්න පුලුවන්.

බහුවරණ ප්‍රශ්ණ සඳහා නිර්දේශක බලන්න,




04. වන පියවර,

  • අවසානම සහ ටිකක් අපහසුම පියවර වන්නේ රියදුරු කුසලතා පරීක්ෂණයෙන් සමත් වීම. ලංකාවෙ වගේ නෙවෙයි trail පෙන්වන්ව ජපානයෙ ඒ සඳහාම නිර්මාණය කරපු ධාවන පථයක්‍ තිබෙනවා. 
  • එම ධාවන පථය තුළ A, B, C ලෙස trail පෙන්වන්න අවශ්‍ය මාර්ග සළකුණු කරන ලද සිතියම් 3ක් තිබෙනවා. ඒ 3න් එකක් අහඹු ලෙස තෝරා ඔබට trail පෙන්වීමට ලබා දෙයි. ඒ නිසා මේ 3ටම සූදානමින් සිටිය යුතුයි. 




  • කුමන හෝ වරදක් පෙන්වලා දෙතුන් පාරක් ඔබව ෆේල් කරන්න පුලුවන්. ඒ නිසා කලින්ම පුහුණුවක් ලබන එක වඩාත් සුදුසුයි.
  • trail පෙන්වන්න පෙර ඔබට පුහුණු කරුවෙක් ලබාගෙන පුහුණු වෙන්න පුලුවන්. එහිදී ඔබට වාහනයක් ලැබෙනවා, පුහුණු කරන පැය ගානට ගෙවීම් සිදු කරන්න ඕනෙ. 
  • රියදුරු කුසලතා පරීක්ෂනයෙන් සමත් වන ඔබට Nihon Menkyoshoo - Japan driving license එක කඩිනමින් හදාගන්න පුලුවන් පහසුකම ලැබෙනවා. 






Arigatō (ありがとう)
DAISU 日本 .... ✍


අපගේ DAISU 日本 Face Book Group එකට Join වීම සඳහා, Click this...



Post a Comment

0 Comments